මහ වන මැද තල්මස් පවුල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 12, 2026

මහ වන මැද තල්මස් පවුල

මහ වනාන්තරයක ඉන්න තල්මස් පවුලක් නැතිනම් තල්මසුන් තුන්දෙනෙකු ගැන ඔබ අසා තිබේද? තායිලන්තයේ ඊසානදිග දිග අන්තයේ පිහිටි හින් සම් වන් (Hin Sam Wan) හෙවත් ‘තල්මස් පර්වත ත්‍රිත්වය’ යනු ලොව පුරා සංචාරකයන්ගේ මෙන්ම භූ විද්‍යාඥයන්ගේ ද දැඩි අවධානයට ලක්වූ එවැනි විස්මිත ස්ථානයකි. 

ඝන වනාන්තරයක් මැදින් ඉහළට නෙරා ආ දැවැන්ත පාෂාණ කුට්ටි තුනක්, හරිත පැහැති සාගරයක පීනන තල්මස් පවුලක හැඩය ගැනීම සැබවින්ම මනස්කාන්ත දසුනකි. මෙම විස්මිත පාෂාණ නිර්මාණය හිටිහැටියේ පහළ වූවක් නම් නොවෙයි.

වසර මිලියන ගණනක් සොබාදහම විසින් ඔප මට්ටම් කළ එකකි. මීට වසර මිලියන 75කට පමණ පෙර, එනම් ක්‍රිටැසියස් යුගයේ (Cretaceous period) අගභාගයේදී මෙම පාෂාණවල ආරම්භය සනිටුහන් වුණැයි විද්‍යාඥයන් කාල නිර්ණය කර ගෙන ඇත. භූ තැටි චලනය වීම නිසා පොළොව මතුපිටට නෙරා ආ වැලිගල් (Sandstone), වසර මිලියන ගණනාවක් පුරා සුළඟට සහ වර්ෂාවට නිරාවරණය විය. 

සොබාදහම නමැති මූර්ති ශිල්පියා විසින් නොකඩවා සිදු කළ ඛාදන සහ කාලගුණික බලපෑම හේතුවෙන්, රළු ගල් කුට්ටි ක්‍රමයෙන් සුමට වී වර්තමානයේ අප දකින දිගටි, වටකුරු තල්මසුන්ගේ හැඩය නිර්මාණය විය. තායිලන්ත - ලාඕස් දේශසීමාව ආසන්නයේ පිහිටි ෆු සිං (Phu Sing) වන රක්ෂිතය තුළ මෙම පර්වත ත්‍රිත්වය පිහිටා ඇත. 

මෙම පර්වත ත්‍රිත්වය තල්මස් අම්මා, තාත්තා සහ පැටවා ආදී වශයෙන් තල්මස් පවුලකට සමාන කර හඳුන්වනු ලබයි. තල්මස් අම්මා, තාත්තා යන පර්වත දෙක මතට පයින් ගමන් කිරීමට සංචාරකයන්ට අවසර ඇති අතර, ඉහළට ගිය විට දිස්වන දසුන හදගැස්ම නවතන තරම් සුන්දරය. 

පවුලේ කුඩාම සාමාජිකයා වන තල්මස් පැටියා පර්වතය තරමක් දුෂ්කර ස්ථානයක පිහිටා ඇති බැවින්, එහි ආරක්ෂාව සහ ස්වභාවිකත්වය රැකගැනීම සඳහා මහජනයාට ප්‍රවේශ වීම තහනම් කර ඇතපර්වතයේ මතුපිට සිට බලන විට පහළින් පෙනෙන ඝන වන වියන හරියටම සාගරයේ රළ පෙළ මෙන් දිස්වෙයි. එය සැබැවින්ම අපූරු අත්දැකීමකි. 

ලුසිත ජයමාන්න 
Earth.com ඇසුරිනි

Classified_Ad